ඕනෑම රටක ඕනෑම දුරකථනයකට නොමිලේ sms යවන්න

Friday, November 11, 2011

ඉලක්කය මගේ දරුවාය

      අද දින පෝස්ට් එකක් ලියන්න හේතු වුණේ සයිබර් අවකාශයේ පාඨකයෙක් වන නුවන් එවා තිබුණු ඊමේල් එක නිසා.  නුවන් ඔබට ස්තූතියි වගේම සුභ පැතුම් එක් කරනවා ඔබ පෙනි සිටින විභාගයෙන් උසස් සාමාර්ථයක් ලබන්න කියා. ඇත්තෙන්ම අප උත්සහා දරන්නේ සයිබර් අවකාශයේ ඉඩකඩ පොදු මහජනතාවගේම යහපත වෙනුවෙන්.වි‍‍ශේෂයෙන්ම තරුණ පරපුර දක්වන අදහස් උදහස් අපගේ ධෛර්යයට හේතුවක්.සයිබර් අවකාශයේ ඉතා විශාල පාඨක පිරිසක් දිනපතාම ගැවසෙන බව එය ඇසුරු කරන අය දන්න කරුණක්.(කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවානම් අපගේ අවබෝධය සඳහා සංඛ්‍යාවත් කියන්න) විශේෂයෙන්ම තරුණයන්ගේ ඊට තිබෙන නැඹුරුව ඉතා විශාලයි.


   නුවන් නියෝජනය කරන තාරුණ්‍යය අද දවසේ වැඩියෙන්ම අවදානමකට ලක් වූ කොටසක් වෙලා. ටියුෂන් පංති ගැන අපි අද කතා කරමු. දස දහස් ගණනක් අය අද දවසේ අතිරේක පංති සඳහා සහභාගි වන්නේ තමන් පෙනී සිටින විභාගයෙන් උසස් ලෙස සමත් වෙලා රැකියාවක් කිරීමට සුදුසුකම් ලබා ගැනීමට බව නොරහසක්. නමුත් අපි නොදැනුවත්වම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අද ටියුෂන් පංතිද අක්‍රමණය කර අවසන් වග නුවන්ගෙ ලිපියෙන් පෙනෙන දෙයක්. රජය විසින් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් නීතියේ  රැහැනට හසුකර ගන්නට නොයෙක් පෙරමුණු වල සටන් වැදී සිටින මොහොතක ජාවාරම් කරුවන් ද ඔවුන්ගේ උපක්‍රමත් වෙනස් කරනවා.
  දැන් ක්‍රියාත්මක වන දුම්කොළ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනත නිසා වෙළෙන්දන් ඔවුන්ගේ උපක්‍රම වෙනස් කරලා තියෙන අකාරය ඉතා පැහැදිලිව පෙනෙන දෙයක් . වෙළෙන්ඳන් ඒ පනතේම සඳහන් වගන්ති උපුටා රැගෙන වෙ‍ළෙඳ සැල් ඉදිරියේ ප්‍රදර්ශණය කරන්නෙත් තරුණයන්ගේ අකාර්ශණය දිනා ගැනීමේ අරමුණෙන්.(මෙතැනින් පෙන්නන්න උත්සහ කරන්නේ ඒඅයත් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩකට අත ගහල තිබෙන බව හැඟවීමටයි)  අවුරුදු 21 න් පහළ අයට දුම්කොළ නිෂ්පාදන අලෙවි කරනු නොලැබේ යනුවෙන් සඳහන් වැකියක් එම වෙළෙඳ සැලට ගොඩවෙන අයගේ ඇස් මට්‍ටමට පෙනෙන ලෙස තබා තිබෙන්නේ ඇයිද කියා මොහොතක් විමසා බලන්න.මෙය දකින පාසැල් යන , ටියුෂන් යන දරුවන් , තරුණයන්ගේ මනසට යන්නේ දුම්වැටි හා දුම්කොළ භාවිතය වැඩිහිටියන්ගේ වැඩක්ය යන පණිවිඩයයි.එහෙම නැත්නම් වැඩිහිටි බවේ ලක්‍ෂණයක් වන්නේ දුම්වැටි හා දුම්කොළ භාවිතයයි යන  අරුත ඉන් ගම්‍ය වෙනවා.

   ටියුෂන් පංති වලද සිදුවන්නේ මෙයට සමානම දෙයක්. සමහර ටියුෂන් පංති ගුරුවරුන් උගන්වන ගමන්ම  දුම්වැටි භාවිතා කරනවා. ඇතැම් අය ඉඳලා හිටලා සිගරට් එකක් දෙකක් බිව්වට කමක් නැහැ වැනි අදහස් පංතියේදී ප්‍රසීද්ධියේම කියලා තියෙනවා. "ඉඳල හිටලා පොඩි ‍අඩියක් ගැහැව්වට කමක් නැහැ " "කොල්ලෝ උනහම ඕවා කරල තියෙන්න ඕනේ." මෙහෙම කියන මේ අය ගුරුවරුන් ද කියලත් ප්‍රශ්ණයක් තියෙනවා. කෙසේ වෙතත් මේ ගුරුවරු තමන් ගැන ප්‍රචාරය කරන්නේ ලංකාවේ ඉහළම සාමාර්ථයන් ලබා ගැනීම සඳහා තමන්ගේ පංති වලට සහභාගීවීමෙන් ලබා ගත හැකි බවයි. එම ගුරුවරයාගේ ප්‍රතිරූපයට 
( "ඉහළම සාමාර්ථ ලබා දෙන " ) අකාර්ශණය වි ටියුෂන් පංතියට යන දරුවා අනියමින් දුම්වැටි ප්‍රචාරය කිරීමේ උපක්‍රමයේ ගොදුරක් වෙලා.ටියුෂන් කරන මෙබඳු ගුරුවරුන්ද කරන්නේ දුම්වැටි වෙළඳාමට කඩේ යෑමකි.එම ගුරුවරයා ගුරුවරයෙක් නොව සිගරට් විකුණන වෙළෙන්දෙකි.

 
   

     ඉහත උදාහරණ දෙකෙන්ම පෙනෙන දේ තමා අප සැම වෙත එල්ල වි ඇති අවදානමයි.භාවිතා  කල හැකි සැම ඉඩකඩක්ම  දුම්වැටි ,මධ්‍යසාර හා අනෙකුත් මත්ද්‍රව්‍යයන් දිරිගන්නවන   සෘජු සහ වක්‍ර ප්‍රචාරණයන් සඳහා යොදා ගැනීමට අද එම ජාවාරම්කරුවන් පෙළෙඹී ඇති බවයි.
  අද ලිපිය ටිකක් දිග වැඩි වගේයි. ඒත් මේ ටික නොකියාම බැහැ. විශේෂයෙන්ම තාරුණ්‍යය අර්ථවත් කර ගැනීම හැමගේ වගකීමයි. ඉදිරි ලිපියකින්ද  මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මත්ද්‍රව්‍ය භාවිතය දිරි ගන්වන අකාරය දිහා බලමු . ඔබගේ අදහස් අපගේ ධෛර්යයට හේතුවක් බැවින්  pivisuma@gmail.com  ලිපිනය ඒවා එවන්න.

No comments:

Post a Comment